‘ආපදා ප්‍රතිසංස්කරණ හා ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති මෙහෙයුම් කාර්යාලයේ’ සේවා නිල වශයෙන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ‘මගනැගුම මහමැදුර’ කාර්යාල පරිශ්‍රයේ 9 වැනි මහලේ මෙම කාර්යාලය ස්ථාපිත කර තිබේ.
පසුගිය ‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් දිවයිනේ මහාමාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම හදිසි ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු සහ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය (PMU) පිහිටුවා ඇත. ‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් සඳහා ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු ආයතනික ඒකාබද්ධ සැලැස්මකට අනුව මෙමඟින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම කළමනාකරණ ඒකකය යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකක (PIU) හතරක් ස්ථාපිත කර තිබේ. උතුර, උතුරුමැද සහ වයඹ පළාත්, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්, ඌව සහ නැගෙනහිර පළාත් මෙන්ම මධ්‍යම පළාත වෙනුවෙන් එම ඒකක හතර පිහිටුවා ඇති අතර, ඒවායේ කටයුතු විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය සමඟ සම්බන්ධීකරණය කරමින් සිදු කෙරේ.
මෙම නව මෙහෙයුම් හා පරිපාලන ව්‍යුහය යටතේ 2027 වසර තුළ ‘දිට්වා’ ආපදාවෙන් හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 285ක් සහ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 756ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ‘දිට්වා’ ආපදාවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීම සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 168ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ.
