අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියරට අදාළ සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය නොවැම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඔක්තෝබර් 28 වැනිදා නාමලේඛනය ප්‍රසිද්ධ කිරීමෙන් පසු අභියාචනා සහ විරෝධතා භාරගැනීම නොවැම්බර් 11 වැනිදා අවසන් කිරීමට මුලින් නියමිතව තිබිණි. අමතර කාලයක් ලබාදෙන ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන කාලය දීර්ඝ කළ බව මණ්ඩලය සඳහන් කරයි. නොවැම්බර් 11 වන විට අභියාචනා 143,805ක් සහ මහජන විරෝධතා 6,478ක් පද්ධතියට ලැබී තිබිණි.

දීර්ඝ කළ කාලය තුළ අභියාචනා සහ විරෝධතා මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය. ඒ සඳහා තාක්ෂණික සහාය අවශ්‍ය අයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයෙන් සහාය ලබාගත හැකි අතර, වැඩි විස්තර සඳහා 1924 අමතන්න.