අයවැයකින් ලබා දුන් වැඩිම වැටුප් වැඩිවීම මෙවර අයවැයෙන් අදියර තුනකින් ලබා දී ඇති බව පවසන කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, හෙට (30) වැනිදා වැඩ වර්ජනයකට සූදානම් වන රාජ්‍ය සේවකයන්ට ඒ පිළිබඳව නැවත කල්පනා කර තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

උත්සව අවස්ථාවකට එක් වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමේ අයිතිය රාජ්‍ය සේවකයන්ට පවතින බවත්, ඊට කිසිසේත්ම බාධා නොකරන බවත්ය. එහෙත් රට නිවැරදි දිශාවට ගෙන යෑමේ කටයුත්තට බාධා නොකර දායක වීමේ වගකීමක් රාජ්‍ය සේවකයන්ට ඇතැයිද ඔහු පැවසීය.

ආර්ථික අර්බුද පවතින පසුබිමක ලබා දිය හැකි සියල්ල ලබා දී ඇති බවත්, ආර්ථිකය යහපත් වූ පසු තවත් දේවල් ලබා දීමට සූදානම් බවත් මහින්ද ජයසිංහ කියා සිටියේය. තම පාලනය පෙර පාලකයන් මෙන් නොවන බවත්, එම කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් දෙවරක් හෝ තෙවරක් කල්පනා කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

”මෙතරම් ආර්ථික අර්බුද තියෙන රටක අයවැයෙන් අදියර 03කින් වැඩිම වැටුප් වැඩිවීම ලබාදී තිබෙනවා. ජනපතිත් පැහැදිලිවම කිව්වා. දෙන්න පුළුවන් සියල්ල දීලා තියෙන්නේ. ආර්ථිකය යහපත් වුණාම තවත් දේවල් දෙන්න අපි සූදානම්. අපි අනිත් පාලකයෝ වගේ නෙමෙයි. අපි අපේ දේවලුත් අත්හැරපු පාලනයක් තියෙන්නේ..”