බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (ජූලි 20) දින සවස පාර්ලිමේන්තුවේ සිදුවනවිට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙම විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීම සඳහා ආණ්ඩුව සමග එක්ව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය. 

සමගි ජන බලවේගය විසින් ම ඉදිරිපත් කරන ලද මෙම විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීම සඳහා සමගි ජන බලවේගයෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් වී සිටින බවත් මෙම විශ්වාසභංග යෝජනාවට එරෙහිව පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්ගේ ඡන්ද 155කට වඩා වැඩි සංඛ්‍යාවක් ලැබෙනු ඇතැයි කියා අපේක්ෂා කරන බව ද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.

මේ වනවිට දැඩි ලෙස විශ්වාසයභංග වී තිබෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිබඳව බවත් එම නිසා විපක්ෂය අතහැර තවත් පිරිස් ඉදිරියේදී ආණ්ඩුව සමග එක්වනු ඇති බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේය.

කොවිඩ්-19 අභියෝගයට ද සාර්ථකව මුහුණදෙමින් ඉදිරියට යන ආණ්ඩුව ලැබෙන පළමු අවස්ථාවේදී ම තෙල්වලට යම් සහනයක් ලබාදී මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් තවත් සහනාධාර ලබාදීමට බලාපොරොත්තු වන බව ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.