පොලිසියේ උසස්වීම් ස්ථාන මාරුවීම් ඇතුළු සියලුම කරුණුවලට මුල්වී පොලිස් නිිලධාරීන් කලකිරෙන තත්ත්වයට පත්කළ බව කියන සුදු පුතා හා කළු පුතා නමින් ප්‍රකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනා වහාම මාරුකර යැවීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පියවර ගෙන ඇත.

දිගින් දිගටම ලද පැමිණිලි මත මෙම දෙදෙනා වහාම මාරු කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසීය.

පොලිසියේ සියලු කාරණාවලදී පොලිස් මූලස්ථානයේ සිට තීන්දු තීරණ ගන්නා මෙම නිලධාරීන් දෙදෙනා නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා පොලිස්පතිවරයා අතර විරසකයක් පැවැති බව පොලිස් දෙපාර්තමේන්තුවේම ප්‍රකට කාරණාවක් විය.

මෙම සියලු කාරණා සැලකිල්ලට ගෙන මෙම නිලධාරීන් දෙදෙනා වහාම මාරුකිරීමට අමාත්‍ය සරත් වීරසේකර උපදෙස් දී ඇත. මෙම ස්ථාන මාරුව සඳහා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියද ලැබී තිබේ.

මෙම කළුපුතා, සුදුපුතා දෙපළ මාරුකර යැවීම මහජන ආරක්ෂක ඇමැතිවරයා මීට පෙර නියෝග කර තිබුණ ද එය කලින් ක්‍රියාත්මක නොවී කල්මරමින් සිටි බවද වාර්තා විය.