මෙරට සංවර්ධන කටයුතු සාර්ථක කර ගනිමින් රට ගොඩ නැගීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණි පසු ලබා දෙන අමාත්‍යාංශයට , ක්‍රම සම්පාදන අංශය එක් කරන ලෙසට රාජ්‍ය නිලධාරීන් විසින්  ඉල්ලීමක් කොට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන පැවසීය.

මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගිවූ මන්ත්‍රීවරයාගෙන්, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

“බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට එන ලෙසට දේශපාලනඥයින් පමණක් නොව රාජ්‍ය නිලධාරීන් පවා ඉල්ලීම් කරනව. මේ වනවිට දිවයිනෙහිම දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂවරුන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින අධ්‍යක්ෂවරුන් විසින් ඉල්ලීමක් කර තිබෙනව, බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ අමාත්‍ය ධුරයක් බාර ගැනීමෙන් පසුව එම අමාත්‍යාංශය යටතට දිස්ත්‍රික්  සැලසුම් හා ක්‍රම සම්පාදන අංශය සම්බන්ධ කර ගන්නා ලෙසට.

එමගින් එම නිලධාරීන් ඉල්ලා සිටින්නේ සංවර්ධනය කරමින් රට ගොඩ නැගීමට 2015 වර්ෂයට පෙර තිබූ අන්දමට කටයුතු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

අද වනවිට මේ රටේ දේශපාලකයින්ටත් වඩා බැසිල් මහත්තයට පාර්ලිමේන්තුවට එන ලෙසට ජනතාවගේ ඉල්ලීම වැඩි වී තිබෙනව, මොකද ජනතාවට සහන සැලසීමට සහ රටේ ආර්ථිකය ගොඩ ගැනීම පිණිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට ශක්තියක් වන නිසා.”