”ජනතාවට සුන්දර කතා කියා දෙනවා වෙනුවට තිබෙන ඇත්ත පෙන්වා දිය යුතුයි. එවිට ජනතාව ආණ්ඩුව අතනොහැර ආණ්ඩුව සමග ම ඉන්නවා,” යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. 

හංවැල්ල නගරයට බස් රථ නැවතුම්පොළක් ලබාදීම සඳහා බලශක්ති අමාත්‍ය සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති උදය ගම්මන්පිල සහ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මුල්ගල තබා වැඩ ආරම්භ කෙරිණ.

මෙම අවස්ථාවට එක් වූ උදය ගම්මන්පිල වැඩිදුරටත් මෙසේ ද කීය.

“අද අපි අර්බුදයකයි ඉන්නෙ. ඒක තමයි තිත්ත ඇත්ත. ඒක ආවේ 1977 ඉඳන්. පිටරටින් අපිට දුන්නු ඩොලර් ආදායමට වඩා වැඩිපුර අපි පිටරටට ඩොලර් දුන්නා බඩු ගෙන්නලා. එතකොට එතන හිඟය මකාගත්තෙ අපි ක්‍රම දෙකකට. එකක් පිටරට රැකියා කරලා ඒ අය එවන මුදල්වලින්. අනෙත් එක රටට එන සංචාරකයන්ගෙ මුදල්වලින්. මේ කොරෝනාවක් ඇවිල්ලා ඒකත් නැති කළා. ඒකෙන් අපිට රුපියල් බිලියන 4ක් විතර පාඩු වුණා. එතකොට පිටරට රැකියා කළ 80,000ක් විතර රැකියා නැතිවයි දැන් ඉන්නේ. ඉතින් අපි ඒක කළමනාකරණය කළා හරියට ගෙදර වියදම් පාලනය කරනවා වගේ. දැන් විපක්ෂය මේ කියන්නෙ ඒකත් වැරදියි කියල ද? අපිට තෙල් මිල වැඩි කරන්න සිද්ධවුණේ පිටරටින් තෙල් ගෙන්නන්න ඩොලර් ටික හොයාගන්න අවශ්‍ය නිසයි. පසුගිය කාලයේ පෙට්රල් ලීටරයකින් අපිට රුපියල් 35ක් පාඩුයි. ඩීසල් ලීටරයකින් අපිට රුපියල් 34ක් පාඩුයි.

එහෙම කරපු අපිට කියනවා තෙල් මිල ජනතාව මත පැටෙව්වා කියලා. අදටත් ලෝකයේ තෙල් මිල අඩු දෙවන රට ලංකාව. පළමු වන රට පාකිස්තානය. මේකත් සිහිපත් කළ යුතුයි. තව සතියකින් මම ආණ්ඩුවෙ කුළුඳුල් විශ්වාසභංගයට මුහුණ දෙනවා. මේක දිට්ට ධම්මවේදනීය කර්මයක් කියලයි මට හිතෙන්නෙ. පසුගිය ආණ්ඩුවට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග 5න් 4ක් ම හැදුවේ මම. ඒ හින්දා වෙන්නැති මට ම මේක ගේන්නෙ. කොහොම වුණත් මට විශ්වාසභංගය ගේන්නේ හොරකම් කළා, වංචා කළා, අපචාර කළා, බලය අයුතු ලෙස භාවිත කළා, මැරකම් කළා කියලා නෙවෙයි. තෙල් මිල වැඩි කළා කියලයි. තෙල් මිල වැඩි කිරීම ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්තිමය තීරණයක් මත සිදුවූවක්. එය රටට ප්‍රකාශ කිරීම තමයි මම සිද්ධ කළේ. මම කළේ ආණ්ඩුවක් විදිහට ගත්ත තීරණය රටට ප්‍රකාශ කිරීම පමණයි.”