පාර්ලිමේන්තු වටරවුම අසල පසුගිය දා පැවති උද්ඝෝෂණයක දී නිරෝධායන නීති උල්ලංඝනය කළේ යැයි පවසමින් පොලීසිය විසින් පිරිසක් රැගෙන ගොස් පොලිස් බස්රථයක් තුළ ට දමන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසරණය විය.

දැඩි විරෝධතා මධ්‍යයේ වයෝවෘධ කාන්තාවක් ව පොලිස් නිලධාරිනියන් විසින් එම බස්රථයට රැගෙන ගොස් දමන අයුරු එහි දැක්විණි.

එම කාන්තාව අද (12) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පැවසුවේ, එම අවස්ථාවේ දී බස් රථය තුළට තමාව පොලිස් නිලධාරීන් විසින් ඇතුළු කිරීමේ දී ඇයගේ හිස යකඩ බටයක වැදුනු බවය.

72 හැවිරිදි කාන්තාවක් වන ඇය එම සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළාය.

“පොලීසිය භාර ඇමතිතුමා ළඟ ක්‍රමවේද දෙකක් තියෙනවා. හංසමාලි වගේ අයට එක විදියකුත් අපේ සහෝදරියෝ තාමත් එදා ඇඳුම් ඇඳගෙන ඉන්නවා ඒ අයට වෙන විදියකුත්. එහෙම වෙන්න බෑ. මොකද ආණ්ඩුව කියන්නේ රටේ සමස්ත ජනතාවගේ ආණ්ඩුවක්. ඒ අයට ආණ්ඩුවේ කෑලි කෑලි ගන්න බෑ. රටේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කළ යුතුයි.“