ශ්‍රී ලංකාව ලබා ගත් ණය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක් මෙම සතිය තුළ ගෙවිය යුතු බවත් එසේ නොකළ හොත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වන බවත් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රට ඉතා විශාල ආර්ථික අර්බුදයක සිටින නමුත් ඊට වැරදිකරුවන් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නොවන බවයි බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ. මෙම අර්බුදය ඇරඹුනේ 2015 වසරේ සිට බවත් වත්මන් රජය රට භාරගන්නා අවස්ථාවේදී ආර්ථිකය විනාශ වී තිබූ අතර පවත්නා ණය ප්‍රමාණය පියවීමට 2029 වසර වන තෙක් සෑම වසරකටම ඩොලර් බිලියන 4.5කට වඩා වැඩි මුදලක් ගෙවිය යුතුව ඇති බවත් ඒ මහතා පෙන්වා දෙනවා..

ණය ශ්‍රේණිගත කිරීම් වල පහළම ස්ථානයක මෙරට පවතින බවත් තවත් පහළට වැටීමට ඉඩක් නොමැති බවත් පවසන අමාත්‍යවරයා කෙසේ හෝ මුදල් එකතු කර ණය වාරිකය ගෙවා මෙරට බංකොලොත් වීමෙන් වළක්වා ගන්නා බවත් අවධාරණය කර සිටිනවා.