වයස අවුරුදු 60ට වැඩි  සහ බෝනොවන රෝගවලින් පෙළෙන අයට ප්‍රමුඛතාව ලබාදෙමින් එන්නත්කරණය දියත් කළේ නම්, අද සිදුවන මරණ වලින් 80%කටත් වඩා වළක්වාගත හැකිව තිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එවැනි  ක්‍රමවේදයක් සකසා තම සංගමය අදාළ යෝජනාව පසුගිය මැයි මාසයේදී ජනාධිපතිවරයා වෙත බාරදුන්න ද එය ක්‍රියාත්මක නොවූ බව ද ජනාධිපතිවරයාටත් ඉහළින් යමින් කිසියම් පාර්ශ්වයක් එය වෙනස් කර ඇති බවට ද එම සංගමය චෝදනා කරයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම පෙන්වලා දුන්න කාරණයක් තමයි මේ එන්නත්කරණ ක්‍රියාවලිය තුළින් කොහොමද අපි මරණ ප්‍රමාණය අඩුකරගන්නෙ කියන එක. ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකත් ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයත් එක් කරලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  ක්‍රමවේදයක් හදලා යෝජනාවක් හැටියට බාරදුන්නා.

මෙහිදී අපි පෙන්වා දුන්නු කාරණයක් තමයි වැඩියෙන් මරණ සිදුවීමේ අවදානම තියෙන්නෙ වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයේ, ඒවගේම බෝනොවන රෝගවලින් පෙළෙන අය. ඒ අයට ප්‍රමුඛතාවය දෙන ක්‍රමවේදයක්, එන්නත්කරණ ක්‍රමවේදයක් අපි හඳුන්වා දුන්නා. එහිදී අපි පෙන්වා දුන්නා රටට මිලියන 10ක් එන්නත් මාත්‍රා එනවිට 90%ක් මරණ වළක්වාගන්නෙ කොහොමද කියන එක.

අද වෙනවිට දළ වශයෙන් මිලියන 20ක් එන්නත් මාත්‍රා ඇවිල්ලා තියෙනවා. ඒ එන්නත් මාත්‍රා මිලියන 20න් පළවෙනි එන්නත් මාත්‍රා මිලියන 10 අපි හරියට දීලා තිබුණා නම් නිවැරදිම ක්‍රමවේදයට දීලා තිබුණා නම් මේ සිදුවන මරණවලින් 80%කට වඩා වළක්වාගන්න තිබුණා. එහිදී ජනාධිපතිතුමන් මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදීලා තියෙද්දීත් අපට දැකගන්න පුළුවන් වුණා ජනාධිපතිතුමන්ගේ උපදෙස්වලටත් උඩින් ගිහිල්ලා ඇතැම් පාර්ශ්ව මේ ක්‍රමවේදය වෙනස් කරනවා. ”

මේ අතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්ත උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ වන විටත් මෙරට අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් 455,539ක් ක් දෙනා එකුදු එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොමැති බවයි.

අදාළ වාර්තා පෙන්වා දෙන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව  මෙරට වයස 60ට වැඩි ජනගහනය 3,519,196ක් වන විට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන අති 60ට වැඩි වැඩිහිටි සංඛ්‍යාව ලෙස වාර්තා වී ඇත්තේ 3,036,151ක් බවයි. ඒ් අනුව ලක්ෂ හතරහමාරකට වැඩි වැඩිහිටි පිරිසක් මේවන විටත් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන නොමැති බව එම වාර්තා පෙන්වා දෙයි