නීතිය කඩ කිරීම මත අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප්‍රහාර, වතුර ප්‍රහාර, කඳුළු ගෑස් ගහන්නේ නැතිව කිසි ම තුවාලයක් නොවී උස්සාගෙන ගිය ක්‍රමය එපා නම් ඊට සුදුසු ම ක්‍රමය කුමක් ද යන්න පවසන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පොලිසිය විවේචනය කරන අයගෙන් විමසීමක් කරයි.

අමාත්‍යවරයා එසේ විමසුවේ, පානදුර ප්‍රදේශයේ අලුබෝමුල්ල හා හිරණ නව පොලිස් ස්ථාන විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින්ය.

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලිව නියෝගයක් පොලිසියට දෙනවා උද්ඝෝෂණ හා රැස්වීම් නැවැත්විය යුතුයි කියලා. ඒ නිසා තමයි පොලිසිය එදා ගිහිල්ලා උද්ඝෝෂණය නවත්වන්න කටයුතු කළේ. ඔවුන්ව නිරෝධායනයට ගෙනිච්චේ පොලිසියට අවශ්‍ය නිසා නොවේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ලිඛිත ඉල්ලීම නිසා,” බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“පොලිසිය හරි දේ කරනවා නම් පොලිසිය හරි දේ කරලා අත්වැරැද්දක් වුණත් තමා පොලිසිය වෙනුවෙන් පෙනී සිටින බව,” ද අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන් ම වරදක් කළොත් දඬුවම් කිරීමට පසුබට නොවන බව ද ඒ අමාත්‍යවරයා කීය.

“අපේ රටේ බොහෝ අයට විනයක් හික්මීමක් නැහැ. රට ගැන හැඟීමක් නැහැ. ඒ නිසා මම හිතනවා තරුණ ප්‍රජාවටත් මේ සම්බන්ධ පුහුණුවක් ලබා දිය යුතුයි කියලා. මිලිටරිකාරයන් කරන්න නෙවෙයි. අවුරුදු 18න් ඉහළ තරුණයන්ට අපි යම්කිසි පුහුණුවක් දෙනවා නම්, ඒ පුහුණුව දෙන්න සුදුසු ම තැන තමා හමුදා කඳවුර. මොක ද එතැන විනයක්, හික්මීමක් තියෙන නිසා. පෞර්ෂත්වය, නායකත්වය වැනි ගුණාංග වැඩි වන පාඨමාලා දුන්නොත් විනයගරුක සමාජයක් හදන්න පුළුවන්. ගොඩක් තරුණයෝ වැරදි කරන්නේ විනයක් හික්මීමක් වගේම නීතිය පිළිබඳ දැනුමක් නැති නිසා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.