ඉදිරියේදිත් උද්ඝෝෂණ සහ රැස්වීම් පවත්වන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

විරෝධතාවලට එක්වු පිරිස් අධිකරණ නියෝගයක් නොමැතිව නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී පක්ෂ විපක්ෂ අදහස් ඉදිරිපත් විය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර,

“තරාතිරම කුමක් වුණත් නීතිය කඩනවා නම් ඒකට පොලීසිය ඉඩදෙන්නේ නෑ. මේ වැඩ වර්ජන සහ රැස්වීම් තහනම් කරලා තියෙන්නේ දේශපාලඥයෝ නෙමෙයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයායි. ඔහු තමා පොලිස්පතිට ඉතා පැහැදිලි නියෝගයක් දීලා තියෙනවා රෝග ව්‍යාප්ත වෙන නිසා රැස්වීම් හා උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි කියලා. නිරෝධායන පනත යටතේ ඔහුට ඒ නියෝගය දෙන්න පුළුවන්. ඒ නිසා පොලීසිය කළේ ඒ කර්තව්‍ය ඉටුකරන එක විතරයි. තරාතිරම කුමක් වුණත් ඉදිරියේ දී වුණත් උද්ඝෝෂණ කරනවා නම් රැස්වීම් කරනවා නම් අපි අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා. අනුර කුමාර මහත්මයාණෙනි ඔබතුමා කිව්වා කාන්තාවන්ට ඇඳුම් අරන් ගියා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මම කිසිදෙයක් කළේ නෑ. මම කළේ පොලිස්පතිතුමාට කියන එක පමණයි. නමුත් මෙතන දී කරානම් ඔබතුමා කියයි ස්ටාලින් ට ඇඳුම් අරන් ගියා කියලා මම. කොහොම වුණත් අපි මීගමුවේදිත් ඒ අයට අවශ්‍ය කරන බෙහෙත් අරන් දුන්නා. මධ්‍යස්ථානයේ සියලුදෙයක් ම අරන් දීලා ඔවුන් ඉතා සතුටින් ඒකේ ඉන්නවා. කවදාවත් නිරෝධායන නතර කරන්නේ නෑ. උද්ඝෝෂණවලට රැස්වීම්වලට අත්අඩංගුවට ගන්න එකත් නතර කරන්නේ නෑ.“