රට ලොක්ඩවුන් නොකිරීමට කැබිනට් මණ්ඩලයේදී ඒකමතිකව තීරණය කර පසුව රට ලොක්ඩවුන් කරන්නැයි ලිපි යවන ඇතැම් ඇමතිවරු සිදුකරන්නේ ඉතාම පහත් ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඒ බව සඳහන් කළේ පක්ෂ මූලස්ථානයේ අද (23) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

“ගිය සඳුදා තිබිච්ච කැබිනට් මණ්ඩල රැස්වීමේදී රට වහන්නේ නෑ කියලා සියලු කැබිනට් ඇමතිවරු ඒකමතිකව තීන්දුවක් ගත්තට පස්සේ.. ඒ තීරණයට අත උස්සපු සමහරක් ඇමතිවරු එළියට ගිහිල්ලා රජයට ලියුමක් දෙනවා වහාම රට වසාදමන්න කියලා. ඉතාම පහත් ආකාරයේ ක්‍රියාවක්. කැබිනට් මණ්ඩලයේ කතා කරන්න කොන්දක් පණ නැතුව එළියට ගිහිල්ලා ලියුම් ගහලා ඒ ලියුම් ජනාධිපතිට යන්න කලින් මාධ්‍යට කවුරුහරි නිකුත් කරනවා නම් එය ඉතා බැරෑරුම් තත්ත්වයක්. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට බොහොම කනගාටු වෙනවා රට වහන්න වෙච්ච එක ගැන.”

මෙම මාධ්‍ය හමුවට එක්වී සිටි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ,

“මුළු විපක්ෂයම ඉල්ලන්නේ ලොක්ඩවුන් කරන්න කියලා. ඒකට අපෙත් සමහර අය රුකුලක් දෙනවා. බොහොම කනගාටු වෙනවා. කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමා එක්ක එකඟවෙලා එනවා. එළියට ගිහින් කොළ අත්සන් කරනවා රට වහන්න කියලා. ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩලයෙදි කියන්නේ නෑ. ජාත්‍යන්තර බළල් අතකට අහුවෙලා වගේ අපිට පේන්නේ. සමහරු හිතනවා ඇති තලෙබාන් ගත්තා වගේ මේගොල්ලන්ටත් එහෙම වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. ජාත්‍යන්තරය බොහොම වේගෙන් අපේ අයව බිලිබාගෙන වගේ පේනවා.”