රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කළ හොත් රුපියල් මිලියන 10 ක් හෙවත් රුපියල් කෝටියක උපරිම දඩයක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.


රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කරන පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් පැවැති රුපියල් 2500 ක් වූ දඩය රුපියල් ලක්‍ෂය දක්වා සියයට 3900 කින් ඉහළ දැමූ අවම දඩයක් බවට පත්කළ බව කී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම පුද්ගලයන්ට මාස හයකට නොවැඩි සිර දඩුවමක් ද පැනවිය හැකි බව සඳහන් කළේය. 


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන්  පැවැති කැබිනට් රැස්වීමේදී එම යෝජනාවට අනුමැතිය ලැබුණු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය. 
එම අමාත්‍ය මණ්ඩල තීරණය ගැසට් නිවේදනයක් ඔස්සේ පහත පරිදි අද (10) නිකුත් කරන බව ද අමාත්‍යවරයා කීය. 


“එම තැනැත්තා සංස්ථාවක් නොවන අවස්ථාවක පළමු වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් එක්ලක්‍ෂයකට නොවඩු සහ රුපියල් ලක්‍ෂ පහකට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමට හෝ ඒ දඩය සහ බන්ධනාගාර ගතකිරීම යන දඩුවම් දෙකම සහ ඉන් පසුව සිදුකරනු බලන වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් ලක්‍ෂ දෙකකට නොවඩු සහ රුපියල් මිලියන එකකට නොවැඩි දඩයකට හෝ අවුරුදු එකකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගතකිරීමට හෝ ඒ දඩය සහ බන්ධනාගාර ගතකිරීම යන දඩුවම් දෙකමට හෝ ඒ තැනැත්තා සංස්ථාගත කළ ආතනයක් වන අවස්ථාවක පළමු වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් ලක්‍ෂ පහකට නොවඩු හා රුපියල් මිලියන පහකට නොවැඩි දඩයක් සහ ඉන් පසුව සිදුකරනු ලබන වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් මිලියන එකකට නොවඩු සහ රුපියල් මිලියන 10 කට නොවැඩි දඩයකට යටත් වන්නේය”