පවතින අර්බූදකාරී වාතාවරණය යටතේ වහාම රට වසා දමන ලෙසට සමස්ත විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කොට ඇත.

එසේ නොවුණහොත් තත්ත්වය කෙසේවත් කළමනාකරණය කරගත නොහැකි වනු ඇති බවද විපක්ෂය ආණ්ඩුවට දැනුම් දී තිබේ.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ‌ඇතුලු සෙසු පක්ෂ මෙම ඉල්ලීම ‌කිරීමට පියවර ගෙන ඇත.

සමගි ජන බලවේගය මෙහිදී අවධාරණය කොට ඇත්තේ මේ මොහොතේ හෝ රට වසා නොදැමුවහොත් රට බේරාගැනීමට කිසිසේත්ම නොහැකි වනු ඇති බවකි.

ජවිපෙ පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් සති 2කට හෝ රට සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු බවකි.

සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස්වලට අනුව කටයුතු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කොට තිබේ.

විපක්ෂයේ දේශපාලන පක්ෂවලට අමතරව විශේෂඥ වෛද්‍යවරුන්ද රට මාසයකට වසා දමන ලෙසට මේ වනවිට ඉල්ලීම් ඉදිරිපත් කොට ඇත.

නමුත් තවමත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා නොමැති බවද වාර්තා වේ.