එන්නත් සොයාගත් පසු මෙරට දී  සිදුවූ හැම කොවිඩ් මරණයක් ම මනුෂ්‍ය ඝාතනයක්  බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් පළ කරමිනි.

මේ රජය එන්නත්කරණයට යොමුවූයේ මෙරට පුරවැසියන් විශාල ගණනකගේ ජීවිත අහිමි වූ පසුව බව ද, මුල සිටම එන්නත් ගැන උනන්දුවක් පළ නොකළ රජය, ධම්මික පැණිය ප්‍රවර්ධනය කරමින්, කළගෙඩි නැටුම් නටමින් සිටි බවත් පවසූ මන්ත්‍රීවරයා, මරණ වැළැක්වීමේ අරමුණක් රජයට තිබුණේ නම් කළ යුතුව තිබුණේ වයස 60ට වැඩි පුරවැසියන්ට ප්‍රමුඛතාව දෙමින් එන්නත්කරණය ඇරඹිම බව සඳහන් කළේය. ලංකාවේ කොවිඩ් නිසා මිය ගිය පිරිසෙන් 78%ක් පමණ වයස 60ට වැඩි පුද්ගලයන් බව පැවසූ මන්ත්‍රීවරයා, එන්නත්කරණය නිසි ප්‍රමුඛතාවයෙන් යුතුව ඇරඹුණේ නම් මේ මරණ වළක්වා ගත හැකිව තිබුණු බව පෙන්වා දුන්නේය.

මේ වන විට සිනොවැක් එන්නත සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, මෙම එන්නත භාවිතා කළ තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවල එන්නත් කළ පිරිස් පවා කොවිඩ් හේතුවෙන් මිය යමින් සිටින බවත්, ඒ් හේතුවෙන් මේ එන්නතේ ඵලදායීතාවය සම්බන්ධයෙන් සැකයක් පවතින බවත් සඳහන් කළේය.

ලංකාවේ දී වෛද්‍ය විශේෂඥයින් මෙම එන්නත අනුමත නොකළ විට ඔවුන් අදාළ නියාමන මණ්ඩලවලින් ඉවත් කොට, ව්‍යාපාරික අරමුණු සහිත ඇමතිවරුන් සහ ඇතැම් නිලධාරීන් සයිනොවැක් එන්නත මෙරට භාවිතය සඳහා ඉදිරි පියවර ගනිමින් සිටින බව පැවසීය. එබැවින් ධම්මික පැණිය හුරතල් කරමින් සිටි ආකාරයෙන් කටයුතු නොකර, සයිනොවැක් එන්නත මෙරට භාවිතය අනුමත කිරීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේද සම්බන්ධයෙන් පිළිතුරු දීම රජයේ වගකීමක් බව ද ඔහු සඳහන් කළේය.