ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් කියා පිරිසක් සිටින බව තමා පිළිගන්නා බවත්, ඔවුන් කඩිනමින් නිදහස් කළ යුතු බවත්, මේ පිරිසෙන් වැඩි කොටසක් දෙසැම්බර් 31 වැනිදා වීමට පෙර නිදහස් කරනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් පැවසීය.

සුරේන් රාගවන් මේ බව පැවසුවේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමිනි.

“දේශපාලන සිරකරුවන් කියලා කිසිම කෙනෙක් නෑ කියලා සෛධාන්තිකව කියන්න පුලුවන්. මොකද දේශපාලනය කරන අයව අත්අඩංගුවට ගන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ, එහෙම නැතිනම් සාමය කඩ කළා කියලා. ගුරු උද්ඝෝෂණය වෙලාවෙත් අත්අඩංගුවට ගත්තා. ඒ ගොල්ලෝ බැංකු කැඩුවේ නැහැනේ, ලිංගික අපචාර කරලා නෙමෙයිනේ අත්අඩංගුවට ගත්තේ. දේශපාලන මතවාදයක් නිසා රජයත් එක්ක ඝට්ටනයකට යනවා, රජය අත්අඩංගුවට ගන්නවා. එතකොට ඒගොල්ලෝ දේශපාලන සිරකරුවන්. කාටවත් කියන්න බෑ මේ රටේ දේශපාලන සිරකරුවන් නෑ කියලා. මගේ ස්ථාවය නම් ලංකාවේ දේශපාලන සිරකරුවන් සියලු දෙනාම නිදහස් කළ යුතුයි. මේ අයගෙන් සමහරු අරං තියෙන්නේ රජය සමඟ ත්‍රස්තවාදී ක්‍රියා කළා කියලා. මගේ බලාපොරොත්තුව නම් දෙසැම්බර් 31ට කලින් මේ එකසිය ගණනින් බහුතරයක් නිදහස් කරන්න යනවා. ඒ්ක සංහිඳියාවට ලබා දෙන සුබවාදී ප්‍රතිචාරයක්.” යැයි ද රාගවන් මහතා ප්‍රකාශ කළේය.