සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරඟය කඩුලු 05කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඩරම් ප්‍රාන්තයේ චෙස්ටර්-ලේ-ස්ට්‍රීට් හි පැවැත්වුණු එම තරඟයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායක ඔයින් මෝර්ගන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව,  ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 185ක් ලබා ගත්තේය. 

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක කුසල් පෙරේරා ලකුණු 73ක් රැස්කළ අතර වනිඳු හසරංග ලකුණු 54ක් රැස් කිරීමට සමත්විය.

ඩේවිඩ් විලී පන්දු ඕවර 10ක් යවා ලකුණු 44කට කඩුලු 3ක් දවාගත් අතර ක්‍රිස් වෝක්ස් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 5ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය. 

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝ රූට් නොදැවී ලකුණු 79ක් රැස්කළ අතර ජොනී බෙයාස්ටෝ ලකුණු 43ක් රැස් කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 50කට කඩුලු 3ක් දවා ගත්තේය.

එම ජයග්‍රහණය සමඟින් තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 1ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.