ඇඳිරි නීතිය ක්‍රියාත්මක දවසකදී අහිමිවන දළ ජාතික නිෂ්පාදනයේ වටිනාකම රුපියල් බිලියන 15ක් පමණ වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

මේ ව්‍යසනකාරී සමයේ නිවැරදි ආර්ථික කළමණාකරනය සඳහා සාර්ව ආර්ථික සාධක සැලකිල්ලට ගතයුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දුන්නේය.

රට වැසූ විට ආර්ථික ක්‍රියාකාරිත්වය පහත බසින බවත් එවිට දළ ජාතික නිෂ්පාදනය අඩුවෙන බවත් ඔහු පැවැසීය.

“අපේ රටේ ශ්‍රම බලකාය 80 ලක්ෂයක්. ඔවුන්ගෙන් 15 ලක්ෂයක් පමණ රජයේ සේවකයන්. ඔවුනට මාසික ආදායමක් ලැබෙනවා.  ඉතිරි පිරිස විවිධ සුළු ව්‍යාපාර , වෙළෙඳාම්, ඉදිකිරීම් වැඩ ආදී කාර්යයන්හි නිරත වෙමින් ආදායම් උපයන අය.

මිනිස් ජීවිත වැදගත්. එසේම ජීවනෝපායත් ඒ තරමට වැදගත්. ජීවිත හා ජීවනෝපාය දෙකම රැක ගැනීමට ආර්ථිකය ආරක්ෂාකර ගැනීම ප්‍රමුඛතාවක්.”  යැයි පැවසූ රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා මේ ආපදා සමයේ අවශ්‍ය කැප කිරීම් කරන්නට සියලුදෙනා සුදානම් විය යුතු බවත් ආර්ථිකය අවුල් කිරීමට උදව් නොකළයුතු බවත් අවධාරණය කළේය.