ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය සකස් කළ THE PEARL OF THE SILK ROUTE ග්‍රන්ථය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වා තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, චීන සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය වසර 6ක ප්‍රගතිය අළලා  සකස් කළ මෙම ග්‍රන්ථයේ මුල් පිටපත එහි අධ්‍යක්ෂ ලිවෙන් යු මහතා විසින් ඊයේ (6) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබූ බවයි.

2014 සැප්තැම්බර් මස 16 වැනිදා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මෙරට සංචාරයක නිරත වූ චීන ජනාධිපති ෂී ජි පිං මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු ආසියාවේ පළමු චීන සංස්කෘතික මධ්‍යස්ථානය මෙරට දී ආරම්භ කෙරිණ.

එතැන් සිට සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ ලිවෙන් යු මහතා සිය සේවා කාලය නිම කර සිය රට බලා පිටත්ව යන බව ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ‍දැනුම් දී තිබේ.