ඉදිරි සතිය තුළදී කැබිනට් සංශෝධනයක් සිදුකරමින් ප්‍රධාන අමාත්‍ය ධූර කිහිපයක වෙනස්කම් සිදුවීමට නියමිත බව ඩේලිමිරර් පුවත්පත වාර්තා කරනවා.

ඒ අනුව මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශය පවිත්‍රාදේවි වන්නිආරච්චිගෙන් ඉවත්කර එය වෛද්‍ය රමේෂ් පතිරණට ලබාදීමට නියමිත බවත් පවිත්‍රා අමාත්‍යතුමියට බලශක්ති අමාත්‍යාංශය ලබාදීමට නියමිත බවත් පැවසෙනවා.

එමෙන්ම අධ්‍යාපනය, ජනමාධ්‍ය, විදේශ කටයුතු, වැවිලි කර්මාන්ත යන විෂයන්හීද අමාත්‍ය ධූර සංශෝධනයක් සිදුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවට ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පත්කිරීමට නියමිත අතර කෙහෙළිය රඹුක්වැල්ලට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ලබාදීමට නියමිතයි.

තවත් ආන්දෝලනාත්මක අමාත්‍යාංශයක් වන අධ්‍යාපන අමාත්‍යාංශය මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතාගෙන් ඉවත්කොට එය ප්‍රසන්න රණතුංගට ලබාදී ජී.ඇල්.පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කෙරෙනු ඇති.

කෙසේ වෙතත් මෙම සංශෝධනයන් පිළිබදව මේ වන විටත් සාකච්ඡා මට්ටමේ පවතින අතර ඒ සඳහා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.