මහලු පුද්ගලයකු වන ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් මගින් සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවූ බවත්, එය සිදු කළේ කුමන පදනමක් මතදැයි රටට පැහැදිලි කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කරයි.

මොළය බාගෙට මියගිය නිලධාරීන් විසින් රට පාලනය කළොත් ඉදිරියේදී විශාල අභියෝගයට රටට ජනතාවට මුහුණ දෙන සිදුවනු ඇතැයිද ගාල්ලේදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා කීය.

විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව වසංගතය හමුවේ කටයුතු කළ යුතු බවද හෙතෙම කීය.

කොරෝනා ආසාදිතයන් එක්කෙනෙක් දෙන්නෙක් සිටියදී සම්පූර්ණයෙන්ම රට වසා දැමුවද අද විශාල වශයෙන් රෝගීන් හමුවද්දී රට සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බවද ඔහු පැවසීය.

පවතින වසංගත තත්වය හමුවේ විශේෂඥ වෛද්‍ය මතයට කන් දෙන ලෙසද මන්ත‍්‍රීවරයා ඉල්ලා සිටියේය.