සියලු ම ප්‍රවෘත්ති වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටත් පුවත්පත් මණ්ඩල පනත සියලු ම මාධ්‍යයන්ට අදාළ වන පරිදි ‘මාධ්‍ය මණ්ඩල පනත’ වශයෙන් යළි සංශෝධනය කිරීමටත් තම අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී පසුගිය දා (ජූලි 20) පැවති ජනමාධ්‍ය අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදීය. 

රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය ද යළි සංශෝධනය කිරීමට ද අවධානය යොමු වී ඇතැයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. 

මෙම රැස්වීමට අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, ගීතා කුමාරසිංහ, ජී. කරුණාකරන්, එස්. ගජේන්ද්‍රන්, සානක්කියන් රාසමානික්කම්, උද්දික ප්‍රේමරත්න, ඩයනා ගමගේ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ මොහාන් සමරනායක, ජාතික රූපවාහිනියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.