නොරෙච්චෝලේ පිහිටි ලක්විජය විදුලි බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු උපදේශන සේවා වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය චීනයේ CMEC සමාගම සමග ඇමෙරිකානු ඩොලර් මිලියන 67ක් වටිනා ගිවිසුම් අත්සන් කර තිබේ.

මේ සඳහා පූර්ව කැබිනට් අනුමැතියක් ලබාගෙන නැති බව බලාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම නිසා අදාළ කටයුතු සම්බන්ධයෙන් අවසාන තීරණ ගනු ලබන්නේ කවුද සහ මෙසේ අත්තනෝමතික ලෙස විශාල වටිනාකමකින් යුත් ගිවිසුම් අත්සන් කරන්නේ කෙසේද යන්න බරපතළ ගැටළුවක් බව ද එම ආරචි මාර්ග ප්‍රශ්න කරයි.

මේ සම්බන්ධයෙන් විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසුවේ ගිවිසුම් අත්සන් කළද, කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව මේ සඳහා කිසිදු ගෙවීමක් කිරීමේ හැකියාවක් නොමැති බවයි.

යම් හෙයකින් මේ සඳහා පසුව ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය නොලැබුණහොත්, මේ ගිවිසුම් අවලංගු වන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ ආකාරයට විධිමත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව විමසීමේදී ඇමැතිවරයා පැවසුවේ 2017 වසරේ සිට මෙය පවත්වාගෙන පැමිණ ඇති බවත්, එය අනුමත කිරීමට හැකියාවක් නැති බවත්ය.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරිය විසින් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.