පවතින තත්වය හමුවේ ජනතාවට කොරෝනාවෙන් මෙන්ම ආණ්ඩුවෙන්ද ආරක්ෂා වීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පුරවැසි ජීවිත සමඟ කරනු ලබන සෙල්ලම පසෙකින් තබා, පවත්නා තත්ත්වයේ බරපතළකම වටහාගෙන ජනතාවාදී ක්‍රියා පිළිවෙතකට මාරුවීම ආණ්ඩුව වහාම කළ යුතු බවත් විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“මේ වන විට කිසිදු පාලනයකින් තොරව භාණ්ඩ මිල ඉහළ ගොස් තිබේ. බරපතල වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක වන අතරේ ඊට ඉඩ දෙමින් ආණ්ඩුව හොරගල් අහුලමින් සිටී. බඩු මිල පාලනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ඊනියා ගැසට් නිවේදන සහ චක්‍රලේඛ සියල්ල අමු අමුවේ උල්ලංඝනය වී ඇති අතර, ඒ සියල්ල පරයමින් මාෆියාව හිස ඔසවා ඇත.

පෝෂණ ද්‍රව්‍යවල විශාල හිඟකමත් වෙළඳපොල තුළ දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් මේ තුළින් බරපතළ පෝෂණ ඌනතාවයකට මුහුණ දී සිටී.

ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව හිස් පුස්සක් බවට පත්ව ඇති අතර එයින් ගනු ලබන කිසිදු ජනතාවාදී තීන්දුවක් මහපොළොව තුළ ක්‍රියාත්මක වෙන තත්ත්වයක් දක්නට නැත” යැයි ද එහි සඳහන් වේ.