‘නිදහස් අධ්‍යාපනය වනසන අධ්‍යාපනය මිලිටරිකරණය කරන’ කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුළා ගන්නා ලෙස බල කරමින් අද (අගෝස්තු 3) කොළඹදී දැවැන්ත විරෝධතාවක් සංවිධාන කොට තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ඒකාබද්ධව සංවිධාන කෙරෙන මේ විරෝධතාවට විශ්වවිද්‍යාල සිසුන්, විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල, කලාකරුවන්, වෘත්තීය සමිති නායකයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, බහුජන සංවිධාන, දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු බොහෝ පිරිසක් එක්වීමට නියමිතය. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවැසුවේ, කොතලාවල පනතට එරෙහිව සමාජය තුළ දැවැන්ත විරෝධතාවක් ගොඩනැඟී තිබියදී එය නොසලකා හරිමින් එම පනත සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ නම් පුළුල් මහජන බලයක් තුළ මේ පනත පරාජය කිරීමට කටයුතු කරන බවයි.