හෙට (30) පැවැත්වෙන බව කියන වැඩවර්ජන ක්‍රියාමාර්ගයට තම සංගමය සම්බන්ධ නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව පැවසුවේ, සිය ඉල්ලීම් සඳහා සාධනීය විසඳුමක් බලාපොරොත්තු වන බවයි. පක්ෂ පාට භේදයකින් තොරව වෛද්‍යවරුන් මුහුණ දෙන පොදු ගැටලුවක් ඉදිරිපත් කර ඇති බවත්, ඊට විසඳුම් ලැබීමෙන් පොදු මහජනයාට යහපතක් සැලසෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර වෛද්‍යවරුන්ගේ වැටුප් 2025 අප්‍රේල් මාසයේ සිට වැඩි කර ඇති අතර, 2026 ජනවාරි මාසයේදී තවත් වැටුප් වැඩිවීමක් සිදු කර තිබේ. 2027 ජනවාරි මාසයේදී තවත් වැටුප් වැඩිවීමක් සිදු කිරීමට නියමිත අතර, ඒ අනුව ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරියකුගේ වැටුප රුපියල් 39,860කින්, 2 වන ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරියකුගේ වැටුප රුපියල් 42,725කින්, පළමු ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරියකුගේ වැටුප රුපියල් 52,225කින් සහ විශේෂඥ වෛද්‍ය නිලධාරියකුගේ වැටුප රුපියල් 68,000කින් ඉහළ යන බව වාර්තා වේ.

ඊට අමතරව අතිකාල (OT) සහ නිවාඩු දින රාජකාරි දීමනාද ඉහළ දමා ඇති බව සඳහන් වේ. 2027 අයවැය මඟින් වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන රුපියල් 70,000ක මාසික DAT දීමනාව රුපියල් 25,000කින් වැඩි කර රුපියල් 95,000ක් දක්වා ඉහළ නංවා ඇති බවද වාර්තාවල දැක්වේ.

එවැනි පසුබිමක තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍රය ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් එම සංගමය විසින් ඉදිරිපත් කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.