ශ්‍රී ලංකාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා පසුගිය වසර 24ක කාලය පුරා අමෙරිකා එක්සත් ජනපදය අමෙරිකානු ඩොලර් මිලියන 130කට අධික මුදලක් ලබා දී ඇති අතර, එම සහාය තුළින් මෙරට බිම්බෝම්බ අවදානම 90%කින් අඩු කිරීමට හැකි වී ඇති බව සඳහන් වේ.

2026 නොවැම්බර් 28 වැනිදා පැවති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ආධාර සපයන පාර්ශ්වයන්ගේ සමුළුව අමතමින් අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මයර්ස් මහතා මෙම අදහස් පළ කළේය.

භූමි ප්‍රදේශ ආරක්ෂිත වීම හේතුවෙන් අවතැන් වූ පවුල්වලට යළි සිය නිවෙස් වෙත පැමිණීමටත්, ගොවීන්ට යළි වගාබිම්වල වැඩ කිරීමටත්, දරුවන්ට බියෙන් තොරව නිදහසේ ක්‍රීඩා කිරීමටත් අවස්ථාව උදා වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

පැහැදිලි අරමුණු, මැනිය හැකි ප්‍රතිඵල සහ නිශ්චිත අවසන් ඉලක්කයක් කරා යන වැඩපිළිවෙළක් ඇතුළත්, ඵලදායී අමෙරිකානු විදේශ ආධාර පිළිබඳ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ දැක්ම මෙම ප්‍රගතිය තුළින් පිළිබිඹු වන බවද නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානීවරයා අවධාරණය කළේය.

ඉතිරිව ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලදී ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතු බව සඳහන් කළ මයර්ස් මහතා, මෙම මෙහෙවරේ අවසන් අදියරට ශ්‍රී ලංකාව නායකත්වය දෙනු දැකීම අමෙරිකාවේ අපේක්ෂාව බවද පැවසීය. ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්වීමේ ඉලක්කය සපුරා ගැනීම, අමෙරිකානු ආධාර සහ ශක්තිමත් දේශීය හවුල්කාරිත්වයන් තුළින් අත්කර ගත හැකි ජයග්‍රහණ පිළිබඳ වැදගත් සාක්ෂියක් වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.