මඩකලපුවේ කුරුක්කල්මඩම සමූහ මි|නීවළෙන් පසුගිය ඔක්තෝබරයේදී අස්ථි කොටස් හමුවීමත් සමඟ, 1990දී ඝාතනයට ලක්වූ සහ අතුරුදන් වූ මුස්ලිම් වැසියන්ගේ පවුල් සිය ඥාතීන්ගේ අවශේෂ හඳුනාගත හැකි වනු ඇතැයි බලා සිටිති. එම පවුල්වල දශක තුනකට වැඩි කාලයක බලාසිටීම ගැන අල් ජසීරා ප්‍රවෘත්ති සේවය නොවැම්බර් 26 වැනිදා වාර්තාවක් පළ කළේය.

කළුවන්චිකුඩි මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් යටතේ ඔක්තෝබර් 6 සිට 14 දක්වා එම ස්ථානයේ කැණීම් සිදු කෙරිණි. වින්දිත පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුඅස්සම් මුබාරක් අල් ජසීරා වෙත පවසා ඇත්තේ එහිදී කැපුම් සලකුණු සහිත අස්ථි කොටස් හමුවූ බවයි. කැණීම්වලදී හමුවූ කොටස් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් භාරයට ගෙන තිබිණි.

මෙම ස්ථානය පිළිබඳ විමර්ශනයට පසුබිම් වී ඇත්තේ 1990 ජූලි මාසයේදී කුරුක්කල්මඩම ආසන්නයේදී මුස්ලිම් වැසියන් පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධියයි. අල් ජසීරා වාර්තාව අනුව එම ඝා|තන සිදු කර ඇත්තේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයයි. ඝා|තනයට ලක්වූ සංඛ්‍යාව පිළිබඳ ඇස්තමේන්තු එකිනෙකට වෙනස්ය.

එම සමයේ සිය සහෝදරයන් දෙදෙනා අහිමි වූ කාත්තන්කුඩියේ ෆවුසුල් හිනායා අල් ජසීරා වෙත පවසා ඇත්තේ, ඔවුන්ගේ අවශේෂ හඳුනාගත හැකි වුවහොත් මුස්ලිම් ආගමික චාරිත්‍ර අනුව ගෞරවාන්විතව භූමදාන කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.