දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ප්‍රදේශ ආශ්‍රිතව නොවැම්බර් 29 වැනිදා පමණ වන විට පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නොවැම්බර් 26 වැනිදා පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.
එම නිවේදනයට අනුව මෙහි බලපෑමෙන් නොවැම්බර් 30 වන විට දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය, අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්රිත ප්‍රදේශය සහ ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමට ඉඩ තිබේ.
දෙසැම්බර් 2 වැනිදා පමණ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වී පීඩන අවපාතයක් බවට පත්වීමේ අඩු සම්භාවිතාවක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නොවැම්බර් 26 වැනිදා දත්ත මත පදනම්ව ඉදිරි පැය 168 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාව පවතින බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස දන්වා ඇත.


