පාසල් ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ පාසල් ඒකාබද්ධ කරන විට සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම අනිවාර්ය කොන්දේසියක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. ඇය මේ බව සඳහන් කළේ නොවැම්බර් 23 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කොළඹ දිස්ත්‍රික් අධ්‍යාපන අනුකමිටු රැස්වීමේදී බව Daily Mirror වාර්තා කළේය.

එක් එක් ප්‍රදේශයේ අවශ්‍යතා සහ ගැටලු සැලකිල්ලට ගෙන පියවර ගත හැකි බව අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළාය. ආබාධ සහිත සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ද අයවැයට ප්‍රතිපාදන ඇතුළත් කර ඇති බව ඇය පැවසුවාය.

පාසල්වලට ඇතුළත් වූ පසු උප්පැන්න සහතික ලබාගැනීමේ දුෂ්කරතාවලට මුහුණ දෙන සිසුන් ගැන ද රැස්වීමේදී සාකච්ඡා වී තිබේ. එම ගැටලුවට විසඳුම් සැලසීම සඳහා පාසල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අදාළ ආයතන එක්ව ජංගම සේවා පැවැත්වීමට යෝජනා වූ බව එම වාර්තාවේ සඳහන් වේ.