අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ දන්සැල් කලාපයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කර තිබේ. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා විසින් මෙම නියෝගය අද (17) නිකුත් කරනු ලැබීය.

ඒ අනුව, එළඹෙන 26 වැනිදා විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිටින ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දන්වා ඇත. රුවන්වැලි මහා සෑය අසල ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මෙම මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමියන් හැර සෙසු භික්ෂූන් වහන්සේ සිව්නමක්, පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක ඇප මත මුදාහරින ලෙස ඉල්ලා නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත. කෙසේ වෙතත්, සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස කළ ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම නඩු විභාගයේදී නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ අදාළ ගැටුමට මුල් වූ රාජාංගනයේ සද්ධාරතන ඇතුළු පුද්ගලයන් 25කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, පොලිසිය එසේ කටයුතු නොකරන බවය. ගැටුම වළක්වා ගැනීමට පොලිසියට හැකියාව තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු කර නැති බවත්, සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමේදී ගැටුම මෙහෙයවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිළිබඳවද සැකයක් මතුවන බවටත් නීතිඥවරුන් එහිදී චෝදනා කර තිබේ.