වෘත්තීය අධ්‍යාපනය නවීකරණය සහ ජල සම්පාදන හා සනීපාරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකුව සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ගිවිසුම් දෙකකට අත්සන් තබා තිබේ.

නොවැම්බර් 6 වැනිදා කොළඹ මහා භාණ්ඩාගාරයේදී ගිවිසුම් අත්සන් කෙරිණි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාද, බැංකුව වෙනුවෙන් එහි ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් මහත්මියද අත්සන් තැබූහ.

නිපුණතා සංවර්ධන පද්ධතිය පරිවර්තනය කිරීමේ වැඩසටහනට ඩොලර් මිලියන 100ක් හිමිවේ. එය 2027 සිට 2031 දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. රැකියා වෙළෙඳපොළට ගැලපෙන තාක්ෂණික හා වෘත්තීය පුහුණුව ලබාදීමත්, පුහුණු ආයතන සහ කර්මාන්ත අතර සබඳතා ශක්තිමත් කිරීමත් එහි අරමුණු වේ.

වැඩසටහනෙන් තරුණ තරුණියන් ලක්ෂයකට වැඩි පිරිසකට සෘජු ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂිතය. මෝටර් රථ තාක්ෂණ පුහුණුව සඳහා විශිෂ්ටතා මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම, පළාත් නවයේ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීම සහ නව පාඨමාලා හඳුන්වාදීමද සැලසුමට ඇතුළත්ය. තාක්ෂණික ක්ෂේත්‍රවල කාන්තාවන්ගේ රැකියා අවස්ථා පුළුල් කිරීම කෙරෙහිද අවධානය යොමු කර තිබේ.

ඉතිරි ඩොලර් මිලියන 100 ජල සම්පාදන හා සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහනේ දෙවැනි උපවැඩසටහන සඳහාය. ජල සම්පත් කළමනාකරණය, පානීය ජලයේ ආරක්ෂාව, අපජල හා සනීපාරක්ෂක සේවා සහ ජල ක්ෂේත්‍රයේ මූල්‍ය තිරසරභාවය වැඩිදියුණු කිරීම එහි ප්‍රධාන අරමුණු වේ.

මෙම ජල ක්ෂේත්‍ර මූල්‍යකරණය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවලට සහාය දෙන ණය පහසුකමකි. දේශගුණික අවදානම්වලට මුහුණදීම සහ සේවා සැපයීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමද එයට ඇතුළත්ය.

වැඩසටහන් දෙක සඳහාම වෙන් වෙන්ව ඩොලර් මිලියන 50ක සහනදායී ණයක් සහ ඩොලර් මිලියන 50ක සාමාන්‍ය ණයක් ලබාදීමට නියමිතය.