ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසන්නේ, ඇමරිකානු තීරුබදු සාකච්ඡා අවසන් නොවීම නිසා එකඟ වූ කරුණු හෙළි කළ නොහැකි බවයි. එය රාජතාන්ත්‍රික ප්‍රතිපත්තියක් වන “non disclosure exclusivity” යටතට වැටෙන බවත්, අවසාන ගිවිසුමකට එළැඹෙන තුරු කරුණු හෙළිදරව් නොකළ යුතු බවත් ඔහු පැහැදිලි කළේය.
ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට භාණ්ඩ 1,161 ක ලැයිස්තුවක් (ඒවායින් 42ක් කෘෂිකාර්මික නිෂ්පාදන) අපනයනය සඳහා පිරිනමා ඇති අතර, ඉන් 70%-80% කට (බොහෝ විට 80%ක් පමණ) 0% තීරුබදු ලබාදීමට ඔවුන් එකඟතාවය පළ කර ඇත. සාකච්ඡා අවසන් නොවීම නිසා තනි තනි භාණ්ඩ පිළිබඳ සඳහන් කළ නොහැකි බවද ඔහු පැවසීය.
එමෙන්ම, ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහාද 0% තීරුබදු ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත්, දැනටමත් ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 0%-20% අතර තීරුබදු පවතින බැවින්, ඒවා තවදුරටත් අඩු කිරීමෙන් රජයට විශාල ආදායම් අඩුවීමක් සිදු නොවන බවත් ආචාර්ය ජයන්ත සඳහන් කළේය.
මේ අතර, ඇමරිකානු තීරුබදු ප්‍රතිශතය තවදුරටත් අඩුකර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමක් හෙට (ජූලි 18) ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
