සූර්ය විදුලිය ජාතික විදුලි ජාලයට එක් කිරීම, බලශක්තිය ගබඩා කිරීම සහ විදුලි ජාලය ඩිජිටල් තාක්ෂණයෙන් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සාකච්ඡා කර තිබේ. නොවැම්බර් 3 සිට 5 දක්වා නවදිල්ලියේ පැවැති ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ නවවැනි සැසිවාරයට සමගාමීව, ශ්‍රී ලංකාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා සහ ඉන්දියාවේ නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ප්‍රල්හාද් ජෝෂි මහතා අතර මෙම හමුව පැවැත්විණි.

ජලාශ මත පාවෙන සූර්ය විදුලි ව්‍යාපෘති සහ කෘෂිකර්මයට සූර්ය බලශක්තිය යොදා ගැනීම පිළිබඳව ද දෙපාර්ශ්වය අවධානය යොමු කළේය. සූර්ය තාක්ෂණය භාවිතයට අවශ්‍ය දේශීය තාක්ෂණික හැකියාව වර්ධනය කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පිහිටුවන සූර්ය තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීම ගැන ද සාකච්ඡා කර තිබේ.

සැසිවාරය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා යළි අවධාරණය කළේ 2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලි ජනනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් ලබා ගැනීම රජයේ ඉලක්කය බවයි.