2025 සහ 2026 යන පසුගිය වසර දෙක තුළ මත්ද්‍රව්‍ය වැටලීම් 520,051ක් සිදු කර මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 36,811ක් සහ ගිනිඅවි 4,626ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල 2026 නොවැම්බර් 28 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය (STF) සහ ත්‍රිවිධ හමුදාව එක්ව මෙම මෙහෙයුම් සිදු කර ඇති බව ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අදාළ කාලසීමාව තුළ සිදු කළ වැටලීම් ඔස්සේ සැකකරුවන් 519,470 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවය. එම කාලය තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 19,643ක් හෙවත් රුපියල් මිලියන 196,435ක් පමණ වන බවද ඔහු පැවසීය.
සමාජයට තර්ජනයක්ව පැවති සංවිධානාත්මක අපරාධ සහ වෙඩි තැබීම් පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු දැක්වූ ආනන්ද විජේපාල, 2025 වසරේදී වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයන් 102 දෙනකු මිය ගියද, 2026 වසරේ මේ දක්වා කාලය තුළ එම සංඛ්‍යාව 51ක් දක්වා අඩු කර ගනිමින් සියයට 50කින් පාලනය කිරීමට හැකි වී ඇති බව සඳහන් කළේය. කිසිදු ජීවිතයක් අහිමි වීමට ඉඩ නොතබන බවත්, මෙම තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.
එසේම, පසුගිය වසර දෙක තුළ T56 ගිනිඅවි 98ක්, පිස්තෝල 143ක් සහ රිවෝල්වර් 108ක් ඇතුළු ගිනිඅවි 4,626ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් සමත් වූ බවද අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

