ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් හරහා විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් ඊයේ (13) මුදල් අමාත්‍යාංශයේදී, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉදිරියේදී අත්සන් කෙරිණි.
ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ මෙහෙයුම් කමිටුව විසින්, ආනයනකරුවන් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී සිදුකරන අඩු තක්සේරු කිරීම් (Under Valuation) හේතුවෙන් රජයට බදු අහිමිවීම් සිදුවන බව හඳුනාගෙන ඇත.
ඇතැම් ව්‍යාපාරිකයින් තෙවැනි පාර්ශවයන් හරහා තාවකාලික පදනමින් භාණ්ඩ ආනයනය කර බදු පැහැර හැරීමත්, එමගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු මුදල් නොගෙවීමත් සිදුකරන බව අනාවරණය වී ඇත.
මෙම ගැටලු අවම කිරීම සඳහා දෙපාර්තමේන්තු දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ මූලික පියවරක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරනු ලැබිණි.
එමගින් භාණ්ඩ ආනයනකරුවන් සහ වෙළඳ ප්‍රජාව විසින් රේගුවට හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සිදුකරනු ලබන ප්‍රකාශන ඒකාබද්ධව විමර්ශනය කිරීම සහ විගණනය කිරීමේ හැකියාව ලැබේ.





