බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සහ ගම්පොළ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත් වී තිබෙනවා.

ඒ අනුව, බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය අද (24) පැවති අතර, එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත විජේවර්ධන එම ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම, ගම්පොළ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී, සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ හිරුක වීරරත්න එහි නගරාධිපති ධුරයට තේරී පත්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.