මියන්මාරය විසින් රොහින්ග්‍යා මුස්ලිම් ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කළ බවට ගැම්බියාව ගොනු කර ඇති වසර හතක් පැරණි නඩුවේ තීන්දුව ජාත්‍යන්තර අධිකරණය (ICJ) විසින් අද (19) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

1948 ජන සංහාර වැළැක්වීමේ සම්මුතිය අත්සන් කිරීමෙන් පසු රුවන්ඩාව සහ හිටපු යුගෝස්ලාවියාව වැනි රටවල පුද්ගලයින්ට එරෙහිව ජන සංහාර චෝදනා ඔප්පු වී තිබුණද, ජාත්‍යන්තර අධිකරණයක් මගින් සමස්ත රාජ්‍යයක් ජන සංහාරයකට වරදකරු කළ පළමු අවස්ථාව බවට මෙය පත්වීමේ හැකියාව පවතී.

2017 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ රොහින්ග්‍යා ගම්මාන ගිනිබත් කරමින්, ඝාතන, වධහිංසා සහ සමූහ දූෂණ සිදු කරමින් එම ජනතාව පලවා හැරීමට මියන්මාර හමුදාව කටයුතු කළ බව එක්සත් ජාතීන්ගේ කරුණු සෙවීමේ දූත මණ්ඩල මගින් තහවුරු කර තිබිණි. එහෙත් තමන් රොහින්ග්‍යා සටන්කාමීන්ගේ ත්‍රස්ත ක්‍රියාවලට එරෙහිව හමුදාමය “පිරිසිදු කිරීමේ මෙහෙයුම්” පමණක් සිදු කළ බව මියන්මාර බලධාරීහු පවසති.

2019 නොවැම්බර් මාසයේදී ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සහාය ඇතිව ගැම්බියාව ගොනු කළ මෙම නඩුවේ මුල් අවධියේදී අවුන් සාන් සුචී මියන්මාරය වෙනුවෙන් පෙනී සිටි අතර, 2021 හමුදා කුමන්ත්‍රණයෙන් පසු ජෙනරාල් මින් අවුන් හ්ලේන්ගේ පාලනය පත් කළ නීතිඥ කණ්ඩායමක් නඩුවට පෙනී සිටියි. යුද අපරාධ සිදුව තිබිය හැකි වුවද “ජන සංහාරක චේතනාවක්” (Genocidal intent) පැවති බවට සාක්ෂි නොමැති බව ඔවුන් තර්ක කරන අතර, ගැම්බියාව ජයග්‍රහණය කළහොත් එය රාජ්‍යයන්ගේ ජාත්‍යන්තර වගවීම තහවුරු කරන තීන්දුවක් වනු ඇති බව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥ අර්සලාන් සුලෙයිමාන් සඳහන් කරයි.

ජාත්‍යන්තර අධිකරණයට සෘජු දඬුවම් පැමිණවීමේ බලයක් නොමැති බව විචාරකයින් පෙන්වා දෙන අතර, බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල සිටින මිලියනයකට අධික රොහින්ග්‍යා සරණාගතයින්ට මෙම තීන්දුව නිල පිළිගැනීමක් වනු ඇත. කෙසේ වෙතත් රඛයින් ප්‍රාන්තයේ බහුතර බලය අරකන් හමුදාව (Arakan Army) සතුවීමත් ස්වදේශික විරෝධයත් හේතුවෙන් නඩු තීන්දුව කුමක් වුවද ඔවුන්ට යළි ගම්බිම් බලා පැමිණීම දැඩි අභියෝගයක්ව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.