ශ්‍රී ලංකාවාසී අප මෙවර නත්තල සමරන්නේ ජාතියක් ලෙස ඉතා වේදනාකාරී ස්වභාවික ව්‍යසනයකට මුහුණ දීමෙන් පසු අධිෂ්ඨානයෙන් යළි ගොඩනැඟෙමින් සිටින තීරණාත්මක අවස්ථාවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
කිතුනු දහමේ මෙන්ම සියලු ආගම්වල ඉගැන්වීම වන අසල්වැසියා විපතට පත් වූ අවස්ථාවේදී අත්නොහැර සහෝදරත්වයෙන් වැලඳ ගැනීමේ උතුම් මනුසත් ගුණාංගය සහ නොසැලෙන අධිෂ්ඨානය පසුගිය ව්‍යසනය හමුවේ මෙරට ජනතාව නැවත නැවතත් පසක් කර තිබෙන බව නත්තල වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.
කිසිදා යාමට අපේක්ෂා නොකළ මංමාවත්වල සිය සහෝදර ජනතාව වෙනුවෙන් ඇවැසි දෑ රැගෙන ඔවුන් ඇවිද ගියේ අසල්වැසියාට ප්‍රේම කරන, සාමය, සමගිය රජයන, පරිත්‍යාගයෙන් සහ සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමට ආරාධනා කෙරෙන උතුම් නත්තලේ අරුත සැබෑ ලෙසම අර්ථ ගන්වමින් බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙනවා.
“යථාර්ථයේ වේදනාකාරී සත්‍යයට මුහුණ දෙමින් අභියෝග ජය ගෙන රටක් ලෙස එක්ව නැඟී සිටිමු” යැයි සියලු දෙනාට ආරාධනා කරමින් ලැබුවා වූ අසිරිමත් නත්තල සාමය, සතුට පිරුණු සහ දයාව පෙරදැරිව මනුසත් බව පැහැබර කරන්නා වූ සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කර ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම පණිවුඩය නිකුත් කර තිබෙනවා.






