පසුගිය පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්රිත මහඔය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, ගිරිඋල්ල, පොල්ගහවෙල, බඩල්ගම ආදී ස්ථාන වෙත මි.මී. 100 කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර ප්‍රකාශ කළා.
මේ වන විට නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟ ආශ්රිත කුඩා ගඟ, අත්තනගලු ඔය, මහ ඔය සහ දැදුරු ඔය, ආශ්රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර තත්ත්වයන් සම්බන්ධව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ජලාශ 09 ක් මේ වන විටත් වාන් දමමින් පවතින අතර, දැදුරු ඔය, රාජාංගනය, තබ්බෝව වැනි ජලාශ සැලකිය යුතු ජල ප්‍රමාණයක් නිදහස් කරමින් පවති.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ බඳගිරිය, යෝධ වැව සහ තිස්ස වැව ආදී ජලාශ ද සාමාන්‍ය ප්‍රමාණයන්ගෙන් ජලය නිදහස් කරමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.






