නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අවබෝධයෙන් හා සාධාරණව සිදු කරන විවේචන විවෘතව භාර ගැනීමට සූදානම් බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
දෙහිවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති සහ දෙහිවල පින්වත්ත පුරාණ විහාරාධිපති පූජ්‍ය වල්හපුතැන්නේ නන්දසුමන හිමියන්ට සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවයට එක් වෙමින් ඇය මේ බව සඳහන් කර සිටියා.
මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජනවාරියේ සිට ක්‍රියාත්මක නොකර විධිමත් අධ්‍යයනයකින් පසු සිදු කරන ලෙසට පූජ්‍ය මැදගම්පිටිය විජිතධම්ම හිමියන් විසින් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරියේ ඉල්ලා සිටි අතර එයට ප්‍රතිචාර වශයෙන් අග්‍රමාත්‍යවරිය සඳහන් කර සිටියේ සමාජ මතයට ඇහුම්කන් දී වෙනස් කළ යුතු තැන්වලදී මූලික අරමුණ රැක ගනිමින් නම්‍යශීලී වී වෙනස්කම් සිදු කළ යුතු බවය.




