බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (නොවැම්බර් 24) මිලිමීටර 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම 5.30ට නිකුත් කළ අනාවැකිය අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි ඇතිවීමේ හැකියාව පවතී.

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වරින් වර වැසි ඇතිවීමට නියමිතය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව එම නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, එමඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.