මෙරට ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල, කාර්යක්ෂම හා පහසු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් සරල හා ඒකාබද්ධ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ (BNR) නියමු ව්‍යාපෘතිය අනුරාධපුරයේදී ආරම්භ කර තිබේ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ පළාත් සභාවන් ඒකාබද්ධව ක්‍රියාවට නංවන මෙම වැඩසටහන හරහා තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සරල කර දිවයින පුරා ඒකාකාරී ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ.

1918 වසරේ සිට පැවති පැරණි ක්‍රමවේදය යටතේ පැවති සංකීර්ණ අවශ්‍යතා ඉවත් කරමින්, මූලික අනන්‍යතා සහ පදිංචි තොරතුරු මත දින පහක් වැනි කෙටි කාලයක් තුළ ලියාපදිංචිය ලබාගැනීමට මෙලෙස අවස්ථාව සැලසේ.

මෙම නියමු ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මධ්‍යම, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ක මාස තුනක කාලයක් එය ක්‍රියාත්මක වේ. මෙහි ප්‍රගතිය ඇගයීමෙන් අනතුරුව මෙම ක්‍රමවේදය දිවයින පුරා පුළුල් කිරීමටත්, ඩිජිටල් පද්ධතියක් හරහා සේවාව තවදුරටත් විධිමත් කිරීමටත් සැලසුම් කර ඇති බව වාර්තා වේ.