ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කණ්ඩායම පිළිබඳව පුළුල් විමර්ශනයක නිරත වීමට අවස්ථාව උදා වී ඇතැයි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා – එංගලන්ත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අවසානයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

2019 වසරේදී දසුන් ශානකගේ නායකත්වයෙන් පකිස්ථානයේදී ලද ජයග්‍රහණයෙන් අනතුරුව පන්දුවාර 20යි 20 තරගාවලි 4ක් අඛණ්ඩව පරාජය වී සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ එම පසුබෑම මකා දමන්නට එංගලන්ත සංචාරයට එක්ව සිටින කුසල් ජනිත් පෙරේරා ප්‍රමුඛ බලකායට හැකි වූයේ නැත.

පළමු තරගය කඩුලු 8කින් ජය ගත් එංගලන්තයට තරගාවලිය නිමා වීමට එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය හිමි වූයේ දෙවැනි තරගයේ කඩුලු 5ක ජයත් සමගයි.

එංගලන්ත කණ්ඩායම ඊයේ(26) පැවැති තුන්වැනි තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 85කින් පරාජය කරමින් තම මව් රටේදීම 20යි 20 තරගාවලියක් තරග 3ට 0ක් ලෙස ජය ගැනීමේ පිපාසය සංසිඳුවා ගත්තේ ය.

ලකුණු 181ක ඉලක්කයන් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 8 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි වු අතර ඔවුන් රැස් කළ ලකුණු 91ට අතිරේක ලකුණු 16 ක් ද ඇතුළත් ය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලි පරාජයෙන් අනතුරුව ඊට එක් වූ ක්‍රීඩකයින් තිදෙනෙකුට ස්ථාන අහිමි කළ ජාතික තේරීම් කමිටුව බංග්ලාදේශ සංචාරය සඳහා කුසල් ජනිත් පෙරේරා ප්‍රමුඛ කණ්ඩායමට අවස්ථාව ලබා දෙන්නේ ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලි ඉලක්ක කර ගනිමිනි.

එම සංචාරයේදී වසර 35ක ක්‍රිකට් ඉතිහාසයේ මෙරට ලැබූ දරුණුතම පරාජය අත්විඳින්නේ, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඔස්ට්‍රේලියාවේ ටොම් මූඩි, ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් ඇතුළු විදෙස් ප්‍රවීණයන්ගේ ශක්තිය ද කණ්ඩායමට හිමිවන පසුබිමකදීය.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා,

කුසලතාවන් ඉක්මණින් වර්ධනය කරන්න අවස්ථාව තිබෙනවා. නමුත්, මානසික ශක්තිය ඇති කිරීම තමයි අමාරුම කාරණය. මම හිතන්නේ ඒක තමයි වේගයෙන්ම කරන්න ඕනේ. ජාත්‍යන්තර තලයට ආවට පස්සේ ක්‍රීඩකයන්ට පළමු පෙළ තරග කරන ආකාරය කියලා දෙන්න බැහැ. ඒක 19න් පහළ, අන්තර් සමාජ වැනි මට්ටමේ සිට හැදිලා තියෙන්න ඕනේ. පහුගිය අවුරුද තුනක විතර සිට තියෙන මේ ගැටලුව මේ තරගයත් එක්කම වැඩි වශයෙන් ඉස්මතු වෙලා පෙනුනා. ක්‍රීඩකයින් හොඳ පහරවල් එල්ල කළා. නමුත් ඒවා පිත්තේ වැදුනේ නැහැ. එම නිසා මිකී ආතර්ට ගොඩක් දේවල් ගැන සාකච්ඡා කරන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා.