මෙරට ගෘහ ඒකකවලින් සියයට 52.5ක් පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමට ඒවා පුළුස්සන බව 2024 ජන හා නිවාස සංගණනයේදී වාර්තා කර තිබේ.

එම දත්ත උපුටා දක්වමින් Daily Mirror අද (21) වාර්තා කළේ ගෘහ ඒකකවලින් සියයට 25.3ක් එවැනි අපද්‍රව්‍ය පළාත් පාලන ආයතන හරහා බැහැර කර ඇති බවයි. තවත් සියයට 9ක් ඒවා කසළ එකතු කරන්නන්ට භාර දී තිබේ.

කසළ එකතු කිරීමට ප්‍රමාණවත් සේවකයන් සහ වාහන නොමැති වීම ඇතැම් පළාත් පාලන ආයතනවල සේවාවට බාධාවක් බව ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහාය මධ්‍යස්ථානයේ නිලධාරියකු එම පුවත්පතට පවසා තිබේ. පොලිතින් හා ප්ලාස්ටික් වෙන් කර ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම සඳහා නියමිත මධ්‍යස්ථාන භාවිතයට ගැනීමේ සැලැස්මක් 2025–2027 කාලය සඳහා හඳුන්වා දී ඇති බවද එම වාර්තාව සඳහන් කරයි.