යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කරන අවස්ථාවලට මානුෂීය පදනම මත සහභාගි වීමට ජාතික ජන බලවේගයේ සාමාජිකයන්ට හැකි බව එම පක්ෂයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසයි. දෙමළ ඊළාම් විමුක්ති කො|ටි සංවිධානයේ සාමාජිකයන් සිහිපත් කිරීම සඳහා විශේෂයෙන් සංවිධානය කරන උත්සවවලට සහභාගි වීමෙන් වළකින ලෙස පක්ෂ සාමාජිකයන්ට උපදෙස් දී ඇති බවද ඔහු සඳහන් කළේය.

මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ නොවැම්බර් 19 වැනිදා චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේ පැවති අනුස්මරණයකට ජාතික ජන බලවේගයේ සභිකයන් සහභාගි වීම පිළිබඳව මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමිනි. සිය පක්ෂයේ සභිකයන් එම අවස්ථාවට එක්වූ බව තහවුරු කළ ඔහු පැවසුවේ, එය යුද්ධයෙන් මියගිය සියලු දෙනා සිහිපත් කරන පොදු අනුස්මරණයක් ලෙස දැනුම් දී තිබූ බවයි.

ටැමිල් ගාඩියන් වාර්තාව අනුව, ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම ආරම්භ වීමට පෙර පැවති එම අනුස්මරණයේදී මියගිය කොටි සාමාජිකයන් සිහිපත් කිරීමට සකස් කළ ස්මාරකයක් ඉදිරිපිට පහන් දල්වා තිබිණි. ජාතික ජන බලවේගයේ සභිකයන් ද අනෙකුත් සභිකයන් සමඟ එහිදී ගෞරව දැක්වූ බව එම වාර්තාව සඳහන් කරයි.

පක්ෂ සාමාජිකයන්ට දුන් බව මහලේකම්වරයා සඳහන් කළ උපදෙස ඇතුළත් ලිඛිත පක්ෂ නිවේදනයක් ප්‍රසිද්ධ කර ඇති බව තහවුරු කරගත නොහැකි විය.