කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ සීමා නිර්ණ කටයුතු අවසන් වූ පසු ඡන්ද විමසීමට අදාළ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදාළ පළාත් පාලන ආයතන දෙකෙහි සීමා නිර්ණ කටයුතු තවදුරටත් අවසන් වී නොමැති බව කොමිෂන් සභාව සඳහන් කළේය.

මහනගර සභා සහ නගර සභා ආඥා පනතට අනුව පැවරී ඇති බලතල ප්‍රකාරව, කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ කටයුතු ආරම්භ කළ යුතු දිනය ලෙස ලබන වසරේ මාර්තු 15 වැනිදා නියම කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.

කෙසේ වෙතත් එම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම පැවැත්වීමට පෙර සීමා නිර්ණ කටයුතු සිදුකර කොට්ඨාශ වෙන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි. ඒ සඳහා ජාතික සහ දිස්ත්‍රික් වශයෙන් සීමා නිර්ණ කමිටු දෙකක් පත්කර ඇති අතර, එම කමිටු වාර්තා මත පදනම්ව කොට්ඨාශ ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

කොට්ඨාශ ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමෙන් පසු කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ ඡන්දය පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.