වාරියපොල, අවුලේගම ප්‍රදේශයේදී මාර්ගය අසල පිහිටි විදුලි කණුවක සවිකර තිබූ වීථි පහනක් නිවා දැමීමට උත්සාහ කළ පුද්ගලයෙකු සහ ඔහුව බේරා ගැනීමට ගිය ඔහුගේ බිරිඳ විදුලි සැර වැදීමෙන් අද (10) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය සඳහන් කරන පරිදි, කරඳවැටිය ප්‍රදේශයේ මාර්ගය අසල දැල්වෙමින් තිබූ විදුලි පහන නිවා දැමීමට උත්සාහ කළ අවස්ථාවේදී අදාළ පුද්ගලයාට පළමුව විදුලි සැර වැදී ඇත. ඒ මොහොතේ ඔහු මුදා ගැනීමට බිරිඳ උත්සාහ කිරීමේදී ඇය ද විදුලි සැර වැදීමට ලක්ව තිබේ.

අනතුරින් බරපතළ තත්ත්වයේ පසුවූ අඹුසැමි යුවළ වහාම නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔවුන් මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අවුලේගම ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 60 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.