හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මුදල් අවභාවිතා කර ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.
එය සම්බන්ධ වන්නේ 2019දී එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් 275 ලක්ෂයක් වෙන් කර තිබීමයි.

සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලෙහි සඳහන් වන්නේ, එම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පැරණි කඩකාමර 07ක් කඩා ඉවත් කර ඇති අතර, ඒවායේ තිබූ වටිනා දොර, ජනෙල්, උළුවහු වැනි භාණ්ඩ අතුරුදහන් වී ඇති බවයි.

ගොඩනැගිල්ලට මුල් වශයෙන් ඇස්තමේන්තුගත වූ මුදල රුපියල් කෝටි 13ක් වුවද, යුද හමුදාවේ ශ්‍රමය උපයෝගී කර ගනිමින් රුපියල් 773 ලක්ෂයකට වැඩ ආරම්භ කළ බවත්, මුල් අදියර යටතේ රුපියල් 250 ලක්ෂයක් වෙන් කර තිබූ බවත් පැමිණිල්ලේ දැක්වෙයි.

මෙම ගොඩනැගිල්ල පිළිබඳව දැන් මුදල් අවභාවිතයකි යන්න පරීක්ෂා කළ යුතු බවත්, අතුරුදහන් වූ භාණ්ඩ පිළිබඳවද විමර්ශනයක් සිදු කළ යුතු බවත් පැමිණිලිකරු ඉල්ලයි.